Rail videos

Wednesday, September 5, 2012

නුපුරුදු ඉසව්වකට පිය නැගූ මොන්ට්‍රියෙල්


අගෝස්තු 31 රේල් හන්දියේ සගයින් සමග සුපිරි හයික් එකක නිරත වී හපුතලේ දුම්රිය ස්ථානයෙන් බදුල්ල කොළඹ රාත්‍රී තැපැල් දුම්රියට නැගුන අපි කොළඹ බලා පිටත් වුනෙමු. පාසල් නිවාඩුවේ අවසාන සති අන්තය නිසාත් , දිගු සති අන්තයක් නිසාත් දුම්රිය මගීන්ගෙන් පිරි ඉතිරි තිබුණි. දුම්රිය කොළඹට සේන්දු වන විට වෙලාව උදේ 7 ට ආසන්න වී තිබුණි. 6.55 ට පමණ මාතර බල ධාවනය වන අංක 50 දුම්රිය  (අපි කව්රුත් හදුන්වන පරිදි සුනාමි කෝච්චිය) අල්ලාගෙන ගෙදර යාමට අදහස් කරගෙන සිටි නිසා තැපැල් දුම්රිය කොටුව දුම්රිය ස්ථානයට පිවිසෙන විටම පස්වන වේදිකාව වෙත විමසිලිමත් දෑස යොමු කලෙමි. අංක 50 තවමත් පස්වන වේදිකාවේය. දුම්රියෙන් වහාම බැසගත් මමත් තව හයික් සගයන් කීප දෙනෙකුත් පස්වන වේදිකාව වෙත දුවන්නට පටන් ගතිමි. දුම්රිය නියාමක නලාවේ හඬ ඇසුනි. කොළ කොඩිය වනා සංඥාව ලබා දුනි. දුම්රිය ඉදිරියට ඇදෙන්නට පටන් ගත්තේය. අපි දුම්රිය දෙසට දුවනු රියදුරු දුටුවා විය යුතුය. දුම්රිය නැවත ඉතා සෙමින් ධාවනය වන්නට පටන් ගත්තේය. අපි ඒ අවසරයෙන් දුම්රියට ගොඩ වැදුනෙමු. දුම්රිය මාතර දෙසට ගමන් කරන්න පටන් ගත්තේය. මගේ සගයින් දෙදෙනා පානදුරෙන් දුම්රියට සමු දුන් අතර මම අම්බලන්ගොඩ තෙක් ගමන් කලෙමි. දුම්රිය ගමන විවිධ ස්වරූප ගත්තේය. එක අවස්ථාවක කළුතර බොහෝ වෙලාවක් නැවතී සිටීමට සිදු විය. ඒ රුහුණු කුමාරි එන තෙක්ය. ඊට පසු පයාගල හරස් මාර්ගයක ගේට්ටුව වසා නොමැති නිසා  නැවතී සිටියෙමු. අලුත්ගම පසු වූ විට හොඳ වේගයකින් ධාවනය විය. වෙනදා short hood forward ධාවනය වන සුපුරුදු M6 එන්ජිම වෙනුවට long hood forward ධාවනය වන M2 එන්ජිමක් දුම්රියට යොදා තිබුණි. 

අම්බලන්ගොඩදී දුම්රියෙන් බැසගත් මම පුරුද්දට වාගේ එන්ජිම දෙස බැලුවේ එන්ජිමේ නොම්මරය බලගැනිමටය. මගේ ඇස් අදහා ගත නොහැකි විය. 626 මොන්ට්‍රියෙල් එන්ජිම  අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ සුනාමි දුම්රිය සමග තේජවන්ත ලීලාවෙන් සිටිනු දුටුවෙමි. මෙහි ඇති සුවිශේෂත්වය කුමක්ද යන්න ඔබ සමහර විටක කල්පනා කරනු ඇති.මේ ලිපිය කියවීමෙන් ඔබට යම්කිසි අදහසක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි සිතමි. ලංකාවට පැමිණ වසර හැටකටත් වඩා කල් ගතවුවත් මේ වන තුරු 626 එන්ජිම රත්මලානෙන් ඔබ්බට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ධාවනය නොවූ බව දුම්රිය ලෝලීන්ගේ පිළිගැනීමයි.ඒ පිලිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමටවත් නොමැත. එසේ නම්  මේ 626 එන්ජිම මාතර බලා ධාවනය වන ප්‍රථම අවස්ථාව විය යුතුය.

කණගාටුවට කරුණ වූයේ මේ සුවිශේෂී අවස්ථාව ඡායාරුප ගත කිරීමට කැමරාවක් මා අත නොතිබීමයි. මම වහාම ටජ්මාල් ට පණිවිඩය ලබා දුන්නෙමි. ඔහු වැලිගමදී ආපසු කොළඹ පැමිණෙන දුම්රිය කැමරාවට හසු කරගෙන තිබුණි.   







නැවත මෙම දුම්රිය කොළඹ බලා ධාවනය වන මොහොතේ මමද අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට ගොස් 626 එන්ජිම කැමරාවට හසු කර ගත්තෙමි. 

  මෙරට දුම්රිය ඉතිහාසයේ සුවිශේෂී ගමනකට නොදැනුවත්ව හෝ සහභාගී වීමට ලැබීම ගැන  මම අතිශයින්ම සතුටු වෙමි. 
Related Posts Plugin for WordPress, Blogger...